vidusara gedara vidyagaraya

vidusara gedara vidyagaraya
විදුසර ගෙදර විද්‍යාගාරය විශේෂාංයේ පලවන ලිපි වැඩිදුරටත් කියවන්න.
gedaravidyagaraya.blogspot.com

Saturday, April 23, 2016

වායු සිසිලකය



 මේ දවස්වල පවතින උණුසුම් කාලගුණය බොහෝ දෙනෙකුට දරා ගන්න අපහසුයි.කාර්යාල, සාප්පු සංකීර්ණ වැනි ස්ථානවල වායු සමීකරණ යන්ත්‍ර තිබුනත් ගෙදරක වායු සමීකරණ යන්ත්‍රයක් භාවිතා කිරීම තරමක් වියදම් අධික වැඩක්. ඒ නිසා මේ සතියේ ගෙදර විද්‍යාගාරයෙන් ඉදිරිපත් කරන්නේ අඩු වියදම් වායු සිසිලන යන්ත්‍ර ගෙදරදීම සාදාගැනීමට අදාළ සැලසුම් කිහිපයක්.මේ වායු සිසිලන ඇටවුම් ඉතා සරල වුවත් මේවා සෑහෙන සිසිලසක් ලබා දීමට සමත්.මෙහි දක්වා ඇති සැලසුම් දෙකේම විදුලි පංකා ලෙස දක්වා ඇත්තේ පරිගණක සිසිලන පංකා ය(Cooling Fan).මේවා පැරණි පරිගණකයකින් ගලවා ගන්නට හෝ සුළු මුදලකට මිල දී ගන්නට පුළුවන්.

අවවාදයයි
මෙම ඇටවුම්වල ජලය භාවිතා වන නිසා සෑම විටම සිසිලන පංකා බැටරි වලින් ක්‍රියාත්මක කරවන්න.

අවශ්‍ය දේවල්

1.මිලිමීටර 6ක පමණ විෂ්කම්භය ඇති  මීටර දෙකක් පමණ දිග තඹ බටයක්(හාඩ්වෙයාර් වලින් ගන්න පුළුවන්)
2.අඩියක් පමණ දිග රිජිෆෝම් පෙට්ටියක්
3.මාළු ටැංකි වල භාවිතා කෙරෙන කුඩා ජල පොම්පයක්
4.පෙට්ටියේ දිග සහ උස ප්‍රමාණයම ඇති රිජිෆෝම් කැබැල්ලක්
5.පරිගණක සිසිලන පංකාවක් (Cooling Fan එකක්)
6.සිහින් හෝස් බට කැබලි 2ක් (මීටර බාගයක් පමණ දිග )
7. 9V බැටරියක්

1.පළමුව 1-රූපයේ දැක්වෙන පරිදි තඹ බටය වට හයක් පමණ වූ දඟරයක් ආකාරයට ඔතා ගන්න.(මෙලෙස තඹ බටය නැමීමේදී බටයේ අභ්‍යන්තර සිදුර අවහිර නොවන සේ ප්‍රවේසමෙන් නමා ගන්න. )

2.ඉන්පසු රිජිෆෝම් පෙට්ටිය ගෙන,2-රූපයේ ආකාරයට අනෙක් රිජිෆෝම් කැබැල්ල ආධාරයෙන් පෙට්ටිය කොටස් දෙකකට වෙන් කර ගන්න.

3.නමාගත් තඹ බටය දෙකෙලවරට හෝස් බට දෙක තදින් සවි කර ගන්න.

4.එක හෝස් බටයක් කුඩා ජල පොම්පයට සම්බන්ධ කරන්න.

5.3-රූපයේ ආකාරයට පෙට්ටියේ එක පසෙකට තඹ බටය ද අනෙක් පසට ජල පොම්පයද දමන්න.නිදහස් හෝස් බටය ද පොම්පය ඇති කොටසට දමන්න.
තඹ බටය ඇති පැත්තේ සිදුරක් විද පෙට්ටියේ පිටතින් සිසිලන පංකාව සවි කර ගන්න.එම සිදුරට ඒක රේඛීයව ඊට විරුද්ධ පසින්ද සිසිල් වූ වාතය ලබා ගැනීම සඳහා කලින් ප්‍රමාණයේම  සිදුරක් විද ගන්න.
අවසානයේ පම්පය ඇති පැත්තට අයිස් කට මිශ්‍රිත සිසිල් ජලය පුරවා පංකාව ක්‍රියාත්මක කර පෙට්ටිය පියනකින් වසන්න.
සැලසුම - 2

අවශ්‍ය දේවල්
1.අඩි 1 x 1 x 1 ප්ලාස්ටික් හෝ රිජිෆෝම් පෙට්ටියක් (මීට කුඩා වුනාට කමක් නැහැ.අයිස් ක්‍රීම් පෙට්ටියක් වුනත් යොදා ගන්න පුළුවන්)
2.පරිගණක සිසිලන පංකාවක් (Cooling Fan එකක්)
3.PVC එල්බෝ කොටසක් (අඟල් 1 විෂ්කම්භය)
4.9V බැටරියක්

1.පළමුව 4- රූපයේ ආකාරයට පෙට්ටියේ පියනේ, සිසිලන පංකාව සහ එල්බෝ එක සවිකිරීමට සිදුරු දෙකක් කපා ගන්න.
2.ඉන්පසු එම සිදුරු දෙකට සිසිලන පංකාව සහ එල්බෝ එක තදින් සවි කර ගන්න.
3.ඉන්පසු පෙට්ටියට අයිස් කැට මිශ්‍රිත සිසිල් ජලය පුරවා, පියන වසා සිසිලන පංකාව ක්‍රියාත්මක කර එල්බෝ එකෙන් සිසිල් වාතය ලබා ගන්න.


වැඩිදුර පැහැදිලි කිරීම් 

Wednesday, April 13, 2016

විදුලි බුබුලක් නිර්මාණය කරමු




විදුලි බුබුලු ගෙදර දොරේ ඉතා බහුලව භාවිතා වෙන දෙයක්.එහෙත් මේ විදුලි බුබුළු ඉතා අකාර්යක්ෂමයි.අධික ලෙස රත් වූ සූත්‍රිකාවක් ආධාරයෙන් ආලෝකය නිපදවීම තමයි ඊට හේතු වන්නේ.මෙම සූත්‍රිකා නිපදවන්නේ ටංස්ටන් වැනි ඉහල ප්‍රතිරෝධයක් ඇති ලෝහයක් ඉතා සිහින් කම්බියක් බවට පත් කර ඉන් පසු එය දඟරයක් ආකාරයට සකස් කොට නැවත දඟරයක් සෑදිමෙනුයි.(රූපය බලන්න)   සූත්‍රිකාවේ ඇති ඉහල ප්‍රතිරෝධය නිසා ඒ තුලින් විදුලි ධාරාවක් ගලන විට සූත්‍රිකාව රත් වී ආලෝකය නිපදනවා.මේ සූත්‍රිකා සාමාන්‍ය වාතයට නිරාවරණය කර දල්වුවහොත්  ඒවා ඉතා ඉක්මනින් පිලිස්සී යනවා.ඒ නිසා විදුලි බුබුළු නිෂ්ක්‍රීය වායු වලින් පුරවා තිබෙනවා


අද ගෙදර විද්‍යාගාරයෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ටංස්ටන් සූත්‍රිකාවක් වෙනුවට මිනිරන් කූරක් යොදා ගනිමින් විදුලි බුබුලක් නිර්මාණය කර ගන්නා ආකාරයයි.

අවශ්‍ය දේවල්

1.පැන්සලක්
2.AA බැටරි කැබලි පහක් පමණ
3.ගනකම් තඹ කම්බියක් (අර්ත් වයරයකින් ගන්න පුළුවන්)
4.සාමාන්‍ය වයර් කැබලි 2.
5.ගනකම් කාඩ්බෝඩ් කැබැල්ලක්
6.වීදුරු බෝතලයක්    

1.පළමුව පැන්සල ගෙන එය දෙකට පලා මිනිරන් කූර ඉවතට ගන්න.(ඉතා ප්‍රවේසමෙන් කරන්න.)
2.ඉන්පසු බෝතලය ගෙන පියන ඉවත් කර, බෝතලයේ විවරයට තදින් සවි වන ආකාරයට ගනකම් කාඩ්බෝඩ් කැබැල්ලක් කපාගන්න.(බෝතලයේ පියන ප්ලාස්ටික් නම් ඒ පියනම භාවිතා කරන්න පුළුවන්.)
3.ගනකම් වයරයේ රබර් ආවරණය ඉවත් කොට තඹ කම්බිය ඉවතට ගන්න.එම ඉවතට ගත් වයරය දෙකට කපා කම්බි කොටස් දෙකක් සාදා ගන්න.
4.ඉහත පියවරකදී අපි පැන්සලෙන් ගලවා ගත් මිනිරන් කූරෙන් අඟල් දෙකක පමණ කොටසක් අරගන්න.
5.ඉන්පසු 2-රූපයේ ආකාරයට ගනකම් තඹ කූරු දෙක අඟල් දෙකක් පමණ දිග මිනිරන් කූරේ දෙකෙළවරට අමුණා ගන්න.
6.දැන් එම ඇටවුම බෝතලය තුලට දමා තඹ කම්බි කූරු දෙක කාඩ්බෝඩ් කැබැල්ල සිදුරු කර ඉවතට ගන්න.
7.එම ඉවතට ගත් කම්බි කූරු දෙකට අනෙක් සාමාන්‍ය වයර් කැබලි දෙක අමුණා ගන්න.
8. දැන් බැටරි කැබලි පහ ශ්‍රේණිගතව ,සකස් කර ගත් අටවුමට සම්බන්ධ කර ගන්න.

බැටරි කැබලි සම්බන්ධ කල පසු මිනිරන් කූර ස්වල්ප වෙලාවකින් රත් වී රක්ත තප්ත වීමට පටන් ගනීවි.එහෙත් මිනිරන් කූර ආලෝකය විමෝචනය නොකර දුම් දමමින් පමණක් තිබෙනවා නම් ඉක්මනින් බැටරි විසන්ධි කරන්න.සාමාන්‍යයෙන් වෝල්ට් 7 ක විද්‍යුත් විභාවයකට ගැලපෙන මිනිරන් කූරේ ගනකම මිලිමීටර භාගයක් පමණ වනවා.ඔබ තෝරා ගත පැන්සල් කූරේ ගනකම ඊට වඩා අඩු නම් මෙම ඇටවුම නිසි අයුරින්  ක්‍රියා නොකරන්න පුළුවන්.ඒ නිසා මිලිමීටර භාගයක් හෝ ඊට වඩා වැඩි ගණකමකින් යුත් මිනිරන් කූරක් භාවිතා කරන්න.


අවවාදයයි.

මෙම ක්‍රියාවලිය අතරතුර මිනිරන් ඉතා අධිකව රත් වන නිසා කිසිවිටෙක අතින් ස්පර්ශ නොකරන්න.

මිනිරන් කැබලි ඇස වලට විසිවිය හැකි නිසා කිසිවිටෙක කූර බෝතලයෙන් ඉවතට ගෙන මෙම ඇටවුම ක්‍රියාත්මක නොකරන්න.

මෙය නිසි පරිදි ක්‍රියා කරන්නේ නැති නම් හැකි විගස බැටරි විසන්ධි කරන්න.


Youtube Video


Wednesday, April 6, 2016

දෝලනේක්ෂය(Oscilloscope)



විද්‍යුත් සංඥාවන් හී පවතින තරංග ශ්‍රිත අධ්‍යනය කිරීමට දෝලනේක්ෂය හෙවත් Oscilloscope යන උපකරණය යොදා ගැනෙනවා.එහි ඇති තිරය මත උපකරණය මඟින් ග්‍රහණය කර ගන්නා විද්‍යුත් සංඥාවන්ගේ තරංගාකාර හැඩ ප්‍රස්තාරිකව නිරූපණය කෙරෙනවා (රූපය බලන්න). මෙම උපකරණය තරමක් මිල අධික නිසා කුඩා පරීක්ෂණ කිරීමට ශිෂ්‍යයෙකුට මෙය මිල දී ගැනීම ප්‍රායෝගික නැහැ.ඒ නිසා අද ගෙදර විද්‍යාගාරයෙන් ඉදිරිපත් කරන්නේ තමන්ගේ ගෙදර තිබෙන සාමාන්‍ය පරිගණකය දෝලනේක්ෂයක් බවට හරවා ගන්නා ආකාරයයි.මෙම පරිවර්තනය සිදු කිරීමට කුඩා ඉලෙක්ට්‍රොනික පරිපථයක් සාදා ගැනීමට සිදු වනවා.මේ පරිපථය ප්‍රතිරෝධක වලින් පමණක් සමන්විත ඉතා සරල එකක්.මේ පරිපථය භාවිතා කරන්නේ ඔබේ පරිගණකයේ ආරක්ෂාව උදෙසායි.එහෙත් යම් කෙනෙකුට මෙම පරිපථය සාදා ගැනීමට අපහසු නම් පරිපථය නොමැතිව කුඩා පරිගණක මයික්‍රෝෆෝනයක් ආධාරයෙන් මෙම දෝලනේක්ෂය,ශබ්ද තරංග නිරීක්ෂණය කිරීමට යොදා ගන්න පුළුවන්. පහතින් දක්වා ඇත්තේ මෙය නිර්මාණය කිරීමට අවශ්‍ය සම්පූර්ණ උපාංග ලැයිස්තුවයි.ඉහත කී ලෙස කවුරුන් හෝ ශබ්ද තරංග නිරීක්ෂණය පමණක් සිදු කිරීමට බලාපොරොත්තු වනවා නම් අවශ්‍ය වන්නේ පරිගණකයක්, මයික්‍රෝෆෝනයක් හා මෘදුකාංගය පමණයි.

අවශ්‍ය දේවල්

1.පරිගණකයක්
2.50K විචල්‍ය ප්‍රතිරෝධකයක්
3.22K ප්‍රතිරෝධක දෙකක්
4.82K ප්‍රතිරෝධක දෙකක්
5.3.5mm audio Jack එකක් (පරණ headphone එකකින් ගලවා ගන්න පුළුවන්)
6.මයික්‍රෝෆෝනයක්
7.මෘදුකාංගය (මෙතනින් බාගන්න)





1.පළමුවෙන්ම 2- රූපයේ දැක්වෙන පරිපථය නිර්මාණය කර ගත යුතුයි.මෙය ඉතා සරල එකක් නිසා ප්‍රතිරෝධක අග්‍ර එකිනෙක අමුණා පරිපථය සාදා ගන්න.මෙහි අග්‍ර ලෙස දක්වා ඇති කොටස් සඳහා තනි කම්බියක් සහිත දිග වයර් කොටස් යොදා ගන්න.
2.පරිපථ සටනනේ audio jack ලෙස දක්වා ඇති  කොටස පමනක් අදාළ පරිදි පාස්සා ගන්න.
3.දැන් මෘදුකාංගය, එහි දැක්වෙන උපදෙස් වලට අනුකූලව පරිගණකයේ ස්ථාපනය කර ගන්න.
4.සාදා ගත් පරිපථය audio jack එක මඟින් පරිගණකයේ මයික්‍රෝෆෝන සම්බන්ධ කරන port එකට (mic in) සම්බන්ධ කරන්න.
5.දැන් මෘදුකාංගය විවෘත කර 3-රූපයේ රතු පැහැ කොටු වලින් දැක්වෙන මෘදුකාංග සැකසුම් සකසා ගන්න. 

දැන් ඇත්තේ සාදාගත් දෝලනේක්ෂය ක්‍රියා කරවීමයි. ඒ සඳහා අපට  බැටරි මඟින් ක්‍රියා කරන කුඩා පොකට් රේඩියෝවක් භාවිතා කරන්න පුළුවන්. 4-රූපයේ ආකාරයට රේඩියෝව ක්‍රියාත්මක කර එහි ස්පීකරයේ වයර් සම්බන්ධ වන ස්ථානයේ එක තැනක අප සාදාගත් පරිපථයේ එක අග්‍රයකුත් අනෙක් ස්ථානයේ පොදු අග්‍රයත් තබා එහි තරංග රටා නිරීක්ෂණය කරන්න.

අවවාදයයි

විදුලි සර වැදීමේ අවදානම සහ පරිගණකය අකර්මණ්‍ය විය හැකි බැවින් කිසි විටෙක නිවසේ ප්‍රධාන විදුලියෙන් ක්‍රියා කරන රේඩියෝ මේ සඳහා භාවිතා නොකරන්න.

ශබ්ද නිරීක්ෂණය කිරීම
ඉහත දක්වා ඇති පරිපථය සාදා ගත නොහැකි කෙනෙක්ට මෙම දෝලනේක්ෂය,ශබ්ද තරංග නිරීක්ෂණය කිරීමට යොදා ගන්න පුළුවන්.එයට කල යුතු වන්නේ පරිගණකයට මයික්‍රෝෆෝනය සම්බන්ධ කර මෘදුකාංගය ක්‍රියා කරවීම පමණයි.(ඉහත දක්වා ඇති settings සකසා ගන්න )

 පහත දක්වා ඇති ලින්ක් එකෙන් tone generator එක විවෘත කර ගන්න.Tone Generator එක භාවිතා කර ඔබට පරිගණක ස්පීකරය සමීපයේ මයික්‍රෝෆෝනය තබා විවිධ සංඛ්‍යාතයන් හී ශබ්ද තරංග නිරීක්ෂණ කල හැකියි.

http://plasticity.szynalski.com/tone-generator.htm