vidusara gedara vidyagaraya

vidusara gedara vidyagaraya
විදුසර ගෙදර විද්‍යාගාරය විශේෂාංයේ පලවන ලිපි වැඩිදුරටත් කියවන්න.
gedaravidyagaraya.blogspot.com

Wednesday, February 17, 2016

විද්‍යුත් ලෝහාලේපනය

විද්‍යුත් ලෝහාලේපනය අපි කවුරුත් පාසලේදී ඉගෙනගන්න දෙයක්.පාසලේදී නම් ඊට අවශ්‍ය රසායන ද්‍රව්‍ය විද්‍යාගාරයෙන් ලබා ගන්න පුළුවන්.එහෙත් ඒ රසායන ද්‍රව්‍ය ගෙදරදී හොයා ගන්න අමාරුයි.ඒ නිසා අද ගෙදර විද්‍යාගාරයෙන් ඉදිරිපත් කරන්නේ අපට පහසුවෙන් සොයා ගත හැකි රසායන ද්‍රව්‍ය උපයෝගී කරගෙන ලෝහාලේපනය ගෙදරදීම කරන ආකාරයයි.මේ ක්‍රියාවලිය අතරතුර නිපදෙන කියුප්‍රික් ඇසිටේට් Cu(CH3COO)2  විෂ සහිතයි.ඒ හින්ද වැඩිහිටියෙකුගේ සහයෝගය ලබා ගැනීම ඉතාමත් වැදගත් වනවා.


 



විද්‍යුත් ලෝහාලේපනය

විද්‍යුත් ලෝහාලේපනය යනු ද්‍රාවණයක දිය වී ඇති ලෝහ ධන අයන විද්‍යුත් ධාරාවක් ආධාරයෙන් එක ඉලෙක්ට්‍රෝඩයක තැන්පත් වීමට සැලැස්වීමයි.ඍණ අග්‍රයට සම්බන්ධ ලෝහයට ධන අයන ආකර්ෂණය වීම නිසා එයට ලෝහය ආලේප වන අතර ධන අග්‍රයට සම්බන්ධ ලෝහයෙන් ලෝහ අයන ගැලවී යාම නිසා එය විඛාදනය වීමත් සිදුවේ. 
 


අවශ්‍ය ද්‍රව්‍ය
1.විනාකිරි කෝප්පයක් පමණ
2.හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කෝප්පයක් පමණ (ෆාමසියකින් ගන්න පුළුවන්)
 3.වයර් මීටර 3ක් පමණ (flexible wire)
4.9V බැටරි 2ක්
5.ඉටි පන්දමක්
6.ජෑම් බෝතලයක්
7.රබර් අත් ආවරණ යුගලයක් (Gloves)

පළමුවෙන්ම අපි විද්‍යුත් විච්ඡේද්‍යය සාදා ගනිමු.ඒ සඳහා අත් ආවරණ පළඳින්න අමතක කරන්න එපා.
1.විනාකිරි හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමාන පරිමා ගෙන ජෑම් බෝතලයට දමන්න.(බෝතලයෙන් ¾ ක් පමණ පිරෙන පරිදි)
2.ඉන්පසු ජෑම් බෝතලය ඉටිපන්දම් දල්ලට අල්ලා තරමක් රත් කර ගන්න.(ගොඩක් වැඩියෙන් රත් කරන්න එපා.)
3.වයර් කැබැල්ලක් (මීටර 2ක් පමණ) ගෙන එයින් තඹ කම්බි ප්‍රවේශමෙන් ඉවතට ගන්න.
4.ඉවතට ගත් තඹ කම්බිය ගුලි කර ජෑම් බෝතලයට දමන්න.ඉන්පසු ජෑම් බෝතලය තදින් වසා බෝතලය සෙමින් සොලවන්න.එලෙස සොලවන විට බෝතලය තුල ඇති විනාකිරි හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රවණය තද නිල පැහැයකට හැරේවි.
5.අවවාදයයි - මෙම නිල් පැහැති කියුප්‍රික් ඇසිටේට් ද්‍රාවණය ඉතා විෂ සහිත බැවින් ස්පර්ශ කිරීමෙන් වලකින්න.


දැන් අපි විද්‍යුත් විච්ඡේද්‍යය සාදාගෙන අවසන්.එහෙත් ලෝහාලේපනය කරන්න ඉලෙක්ට්‍රෝඩ දෙකක් අවශ්‍ය වනවා.එක ඉලෙක්ට්‍රෝඩයක් වනේ අපි ලෝහාලේපනය කිරීමට බලාපොරොත්තු වෙන ලෝහයයි.එය වැලි කඩදාසියකින් හොඳින් පිරිසිඳු කරගත් කුඩා යතුරක්, හැන්දක්, මුද්දක් වැනි දෙයක් විය හැකියි.අනෙක් ඉලෙක්ට්‍රෝඩය තඹ කම්බි වලින්ම සාදා ගන්න වෙනවා.

6.ඉතුරු වයර් කැබැල්ල ගෙන එය රූපයේ පරිදි කූරක් ආකාරයට සකස් කොට කෙලවර තරමක් ගෝලයක් සාදා ගන්න.බැටරිය සම්බන්ධ කිරීමට ඉලෙක්ට්‍රෝඩ දෙකටම කුඩා වයර් කැබැල්ල බැගින් අමුණා ගන්න.

7.ඉන්පසු රූපයේ ආකාරයට බැටරි දෙකේ සමාන අග්‍ර එකිනෙක අමුණා ධන අග්‍රය තඹ කම්බි කූරටත්, ඍණ අග්‍රය ඔබ ලෝහාලේපනය කිරීමට බලාපොරොත්තු වන ලෝහ කැබල්ලටත් සම්බන්ධ කරන්න.(අග්‍ර සම්බන්ධ කිරීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න.අග්‍ර මාරු වුවහොත් ලෝහාලේපනය සිදු වන්නේ නැහැ.)
8.අවසානයේ තඹ කම්බි කූර සහ ලෝහ කැබැල්ල කලින් සකස් කරගත් ද්‍රාවණයේ ගිල්වන්න.එලෙස ගිල්වීමේදී බැටරියට සම්බන්ධ වයර් ද්‍රාවණයේ නොගෑවීමට වග බලාගන්න.

9.ඉන්පසු ලෝහ කැබැල්ල හොඳින් තඹ පැහැ වනතුරු තබා අඬුවක් ආධාරයෙන් ද්‍රාවණයෙන් ඉවතට ගන්න.ලෝහ කැබැල්ල ගලා යන ජලයෙන් හොඳින් සෝදා ගන්න.